Breaking

Venom සිම්බියෝට් හැදින්වීම


සෝනි සමාගම මාවල් සමාගමේ සහයෝගය ඇතුව මේ වෙද්දී වෙනම් කියන චරිත සජීවී ක්‍රියාදාම චිත්‍රපටයක් විදිහට ඉදිරිපත්කර තිබේ.
චරිතේ හැදුනේ කොහොමද?
මෙතෙක් බිහිවුන, ඔයාලා අතරේ ජනප්‍රිය චරිත විදිහට නෙවෙයි මේ චරිතේ නිර්මාණය වෙන්නේ. 80″ දශකයේ මාවල් සමාගම තමන්ගේ කොමික් චිත්‍රකතා සදහා චිත්‍රකතා රචකයින් වගේම චිත්‍ර ශිල්පින්ව බදවාගන්න. මේකට විවෘත ආරාධනාවක් කිව්වොත් වඩාත් නිවැරදියි. ඉතින් මේ වගේ දෙයක් නිවේදනය කලාම රැන්ඩි ශූලර් කියලා කෙනෙක් මාවල් සමාගමට යෝජනාවක් කරලා තියෙනවා ස්පයිඩර් මෑන්ට දැනට තියෙන බලයන් වැඩි වෙන විදිහේ දෙයක් කරන්න ඕන කියලා. මාස ගණනාවක් ගත වුනාට පස්සෙ මාවල් සමාගාමේ ඒ කාලේ සංස්කාරක ප්‍රධානියා විදිහට කටයුතු කල ජේම්ස් ශූටර් විසින් ශූලර්ට ලිපියක් යවමින් එයාගෙ අදහසට කැමති බව දන්වලා තියෙනවා.
ලිපියේ සදහන් වෙන විදිහට ශුලර්ගෙ මේ අදහසට විතරක් ඇමරිකානු ඩොලර් 220 ක් ගෙවන්න කැමති වෙලා තියෙනවා. (මේ කාලේ වටිනාකමට අනුව හිතලා බලන්නකෝ කොච්චර ගානක්ද කියලා) ඒවගේම ශූලර්ගෙ අදහසට අනුව තමන්ගේ නිර්මාණයත් එක්කම මුල්ම පිටපතක් ලියන්න අවස්ථාව දීලා තියෙනවා. ශූලර් මේ ගැන පුදුමාකාර ආසාචෙන් ඉදලා තියෙන්නේ. මේ ගැන ලිපි හරහා වගේම දුරකථන ඇමතුම් හරහාද ලොකුවට කතාබහ කරගෙන ශූලර්ගෙ අතින් පිටපත් කිහිපයක් ලියවිලා තියෙනවා. නමුත් මේ යවපු හැම පිටපතාක්ම මාවල් සමාගම නැහැ. මේ වෙච්ච දේවල් නිසාම ශූලර් අන්තිමේදී පිටපත් ලියන වැඩෙ නවත්තලා තියෙනවා.
මේ සිදුවීම් වෙලා වසරකට පසුව මාවල් කොමික් සමාගම Secret Wars කොමික් මුද්‍රණයක් නිකුත් කරනවා. මේකෙදි මේ අය කොහොමහරි අන්තිමේදී ශූලර් අදහස තියෙන ස්පයිඩිව කොමික් චිත්‍ර කතා අතරට ගේනවා. මෙතනින් තමයි වෙනම් කියන චරිතයට මුල්ම වතාවට පාර කැපෙන්නේ. වසර ගනානාවක් ගිහින් Spider-Man 3 (2007) නිකුත් වීමත් එක්ක රැන්ඩි ශූලර් තවත් කණගාටුවට පත්වෙලා තියෙනවා. මොකද එයාගෙ අදහස වුනේ සූට් එකකින් ස්පයිඩිට එයාගෙ බලයන් වැඩි කරවලා දෙන එක මිසක් හතුරෙක් නිර්මාණය කරන එක නෙවේ නිසා. තමන්ගේ අදහසට මාවල් සමාගම ගෙවීමක් පවා කරලා ලිපියක් පවා එව්වත් ශූලර් ගැන කොමික් තුළවත්, චිත්‍රපටයෙවත් කිසිදු ආකාරයෙන් සදහනක් නැති වීම නිසා තමයි ශූලර් හුගක් කණගාටුවට පත්වෙලා තියෙන්නේ.
ශූලර් මේ විදිහට හැසිරෙන්න ගත්තම කට්ටිය හිතලා තියෙන්නේ එයාට සල්ලි ඕන වෙලා හෝ වෙනින් දෙයක් ඕන වෙලා කියලයි. ඒත් එයා කියලා තියෙනවා Amazing Spider-Man තුල වචන කිහිපයකින් නිර්නාමික විදිහට තමන්ගෙ අදහස නිසා මෙය නිර්මාණය වූවක් මෙන්ම අවසානයේදී මේ අදහස නිසාම Spider Man 3 (2007) චිත්‍රපටය තුලින් දැකගන්න ලැබුණු වෙනම් නම් රාක්ෂයා නිර්මාණය වෙන්න රුකුලක් වුණා කියලා. දැන් වෙනම් චරිතය නිර්මාණය කල අයවලුන් අතරේ Roger Stern, Tom DeFalco, Mike Zeck, Ron Frenz, David Michelinie, Todd McFarlane වගේ බොහෝ දෙනෙක් හිටියත් මේ චරිත බිහිවෙන්න ලොකු මූලාරම්භයක් වෙලා තියෙන්නේ Randy Schueller තමයි. මේ නිසාම Venom (2018) චිත්‍රපටයේ පවා ශූලර් ගැන සදහන් වෙනවා.
කොමික් පසුබිම
කවුද මේ සිම්බියෝට්ලා කියන්නේ?
මේ වෙද්දී සජීවී ක්‍රියාදාම චිත්‍රපට වලින් නම් අපිට වෙනම්ගෙ ඔරිජින් ස්ටෝරිය දෙවිදියටකට දකින්න ලැබුනා. එකක් තමයි Spiderman 3 (2007), Venom (2018) හරහා. ඒත් කොමික්වල වෙනම්ට හුගාක් ඔරිජින් ස්ටෝරි වෙනස් ක්‍රම හරහා දකින්න ලැබෙනවා. සිම්බියෝට් කියන්නේ ස්ක්‍රල්, මැක්ලවුන්ස්, ක්නල්, සැන්ඩේරියන්ස් කියන පිටසක්වල ජීව කොට්ටාශයන් ඉන්න ඇන්ඩ්‍රෝමේඩා නම් මන්දාකිණියෙ තුන්වෙනි තැන ගත්ත තවත් එක් පිටසක්වල පරපෝෂී සත්ව කොට්ටාශයක්. මේ අයට සිම්බියෝට් කියලා හදුන්වන්නේ ඒක විද්‍යාත්මක නාමයක් විදිහට හදුවන්න ගත්ත නිසයි. නමුත් මේ අයගේ සැබෑ නාමය වෙන්නේ ක්ලින්ටාර් කියලා. මොකද මේ අයගේ මව් ග්‍රහලෝකයේ නම වෙන්නෙත් ක්ලින්ටාර්මයි. නිශ්චිතවම හරි හැටි හැඩයක් නැති විරූපී කොට්ටාශයක් කිව්වොත් නිවැරදියි. මේ අය හොදද, නරකද කියලා හරියටම කියන්න පුලුවන් ඒ ඒ ක්ලින්ටාර්(සිම්බියෝට්)ලගේ අරමුණ අනුවයි. මේ අතරින් වෙනම්වත් සිම්බියෝට් කෙනෙක් විදිහට හදුන්වන්න පුලුවන්. ක්ලින්ටාර්වල නම් මේ අය හුගක් සහජීවී වගේම හුගක් කාරුණික කොට්ටාශයක්. නොනැසී ජීවත් වෙන්න නම් සුදුසු ධාරකයෙක්ව ඕන. හොද සිම්බයෝසිස් කෙනෙක් එක්ක සම්බන්ධ වෙන්න නම් ඒ කෙනා ලග සිම්බියෝට්යට ගැලපෙන කායික වගේම මානසික සුදුසුකම් තියෙන්න ඕන. එහෙම නැති වුනොත් සිම්බයෝසිස් නිසා ධාරකයා වගේම ක්ලින්ටාර් ජීවීයත් දූෂිත වෙලා යන්න තියෙන ඉඩකඩ වැඩියි.
අනික හරි සිම්බියෝට් කෙනෙක් ධාරකයෙක් එක්ක සම්බන්ධ වෙද්දී කායිකව වගේම මානසිකවත් සුදුසුකම් තියෙන්න ඕන කියලා කිව්වානෙ. මේ ක්‍රියාවලිය කිහිප ආකාරයකින්ම වෙන්න පුලුවන්.
  • සිම්බියෝට් කෙනෙක් එක්ක සම්බන්ධ වන ධාරකයා සිම්බියෝට්එක්ක ගැලපුනේ නැත්තම්, ඒ කිව්වේ හරියන සුදුසුකම් තිබුනේ නැත්තම් සිම්බියෝට් හුගක් වෙලාවට කරන්නේ කායිකව වගේම මානසිකව විනාශ කරන එක.
  • සිම්බියෝට් එක්ක සම්බන්ධ වෙන ධාරකයා ශුද්ධ ලේ රේඛාවකින් පැමිණෙන කෙනෙක් නම්, මොලයක තියෙන රසායනිකයන් හරි විදිහට සමබර වුනොත් බලාපොරොත්තු වෙන විදිහේ හොද සිම්බයෝසිස් ජීවීයෙක් බිහි කරගන්න හැකියාව තියෙනවා.
  • දෙවැනි කාරණේ සදහන් කරපු විදිහේ කාරණා දෙක සමාන නොවී සිම්බියෝට්ට හැකියාව ලැබුනොත් ධාරකයව ලබාගෙන හොද සිම්බයෝසිස් කෙනෙක් නිර්මාණය කරන්න, එතකොට වෙන්නේ තනිකරම සැහැසි සිම්බියෝට් කෙනෙක්ව නිර්මාණය වෙන එක විතරයි. ඒ කිව්වේ සිම්බියෝට්ට පුලුවන් තමන්ගේ ධාරකයා ලවා තමන් හිතන පතන හැමදේම කරවගන්න. ධාරකයා වෙන කෙනා එතකොට නිකන් සිම්බියෝට්ගෙ වහල්ලෙක් වුණා හා සමානයි.
එදාමෙදා කාලය අතරතුර ඔය වගේ සිද්දි ඕන තරම් වෙලා තියෙනවා. ඔන්න ඔය වගේ හේතු හන්දම තමයි කොමික් විශ්වයේ අය වගේම කොමික් ප්‍රේක්සකයන් හුග දෙනෙක් ඔය සිම්බියෝට්ව දරුණුම ජීවී කොට්ටාශයක් විදිහට දකින්නේ.
කවුද එතකොට මේ වෙනම් කියන්නේ?
විටෙක වීරයෙක්, තවත් විටෙක දුෂ්ටයෙක් වගේම තවත් විටෙක ප්‍රති-වීරයෙක් (ඇන්ටි-හීරෝ) කෙනෙක්. වෙනම් ගැන කලින් එයා පොඩ්ඩක් ඔයාලා මෙතෙක් දැකපු කෙනා ගැන මතක් කරන්නම්. SpiderMan 3 (2007) හරහා දකින්න ලැබුණු පෙළක් දෙනා තවමත් කියන “කළු ස්පයිඩර්මෑන්ට” තමයි වෙනම් කියන්නේ. එතනදී එයා මුලින්ම ධාරකයා කරගන්නේ පීටර් පාකර්ටයි (ස්පයිඩර් මෑන්ට) එතනදී නම් අසීමිත හැකියාවන් ලැබෙන ස්පයිඩර්මෑන්ට හොදක් දැනෙන්න ගත්තට පහු වෙනකොට එයා කෙනාව අත්හරින්න තීරණය කලා. මොකද පීටර්ට කාලයක් යද්දී බ්ලැක් සූට් එක පාලනය කරගන්න බැරි වුන නිසා වගේම එයාට නිතර ඇතිවුන ඉක්මන් තරහව නිසා. පස්සෙ ඕක ලැබුනේ එඩි බ්‍රෝක්ටනෙ. එයාට ලැබුනට පස්සෙ තනිකරම දුෂ්ටයෙක් විදිහට තමයි ක්‍රියා කලේ. දැන් අදහසක් ඇතිනේ.
ඔව්, වෙනම් අනික් සිම්බියෝට්ලට වඩා හුගක් වෙනස්ම ජීවීයෙක්. තමන් සම්බන්ධ වෙන කෙනාගෙ අරමුණු වගේම තමන්ගේ අරමුණුත් ඉටු කරන්න දෙදෙනා අතරම අන්‍යෝන්‍ය බැදීමක් ඇති කරගන්න හැකියාව තියෙන කෙනෙක්. වැරදි අදහසක් නම් අරගන්න එපා. ඒකෙන් කිව්වේ අනික් හැම සිම්බියෝට් කෙනෙක්ම තමන්ගේ ධාරකයාව පාලනය කරන්න හදද්දී වෙනම් එහෙම කලේ නැහැ. තමන්ගේ ධාරකයාගෙ මනස එක්ක සම්බන්ධ වුනාම නිතරම ඒ කෙනාව තේරුම් ගන්න උත්සහ කලා. දෙන්නා අතරේ සමගියක් ඇති කරන් ඉන්න පුලුවන් කෙනෙක් තමයි වෙනම් කියන්නේ. මේ හන්දම අනික් සිම්බියෝට්ලා වෙනම්ට කැමති වුනේ නැහැ. එයාව පහත් ජීවීයෙක් ගානට දාලා සැලකුවේ. අනික් අය එක්ක බලද්දී ඒ හැටි බලයක් වෙනම්ට නැහැ. කෙටියෙන් කියනවනම් අනික් සිම්බියෝට්ලා අතරේ වෙනම් හරියට නිකමෙක් වගේ.
තමන්ගේම ජීව කොට්ටාශය “වෙනම්” සිම්බියෝට්ව පිටුවහල් කරපු වෙලාවක මෙයාව හොයාගන්නේ ක්‍රි ගවේශකයක්. එයා තේරුම් ගන්නවා වෙනම් කියන්නේ අනික් අයට හුගක් වෙනස් කෙනෙක් නිසා පිටුවහල් කරපු කෙනෙක් නිසා. තව දුරටත් මේ ජීවීයා ගැන අධ්‍යනය කරන්න අරන් ගිහින් කාලයක් ගත වෙලා වෙනම් අන්තිමේදී ටෙල්-කාර් කියන සොල්දාදුවා එක්ක සම්බන්ද වෙනවා. ඉතින් ටෙල්-කාර් සොල්දාදුවාව ක්‍රි ස්ක්‍රල් යුද්ධයට කලින් මේ දෙන්නා හුගක් පුහුණුවීම් වෙලා ඔත්තුකරුවෙක් වගේම ඝාතකයෙක් හැටියටත් කටයුතු කරනවා. වතාවක් ටෙල්-කාර් ක්‍රි සරණාගතයින් බේරගන්න ගිය වෙලාවක, ටෙල්-කාර් වගේම සිම්බියෝට් වෙන් වෙනවා. තමන්ගේ ධාරකයා ගැන තියෙන මතකේ නැති වී යාමත් එක්කම වෙනම් ඒ ග්‍රහලෝකේ අතරමං වෙනවා. 😢 ඊටපස්සේ වෙනම්ව අහු වෙන්නේ පිටසක්වල දේශයක ඉන්න හුගාක් ක්‍රැර කෙනෙක්ට.
වෙනම් විශ්වාස කරන්න ගන්නවා ඒ කෙනා හුගක් හොද මහත්මා ගතිගුණ තියෙන කෙනෙක් කියලා. ඒත් ඒ කෙනා කලේ වෙනම්ව පාවිච්චි කරලා එයාව කෙලින්ම අරන් ගියෙ එයාගෙම මව් ලෝකය එයා ලවාම ජනඝාතනය සිද්ද කරන අරමුණින්. ඒත් එක්තරා මොහොතකදී වෙනම්ව හේස් මෑන්සර් කියන පිටසක්වල ආයුධ වෙළෙන්දාට අහුවෙනවා. වෙනම්ගෙ මේ ක්‍රියාකලාපයන් නිසාම එයාගෙම ක්ලින්ටාර්(සිම්බියෝට්)ලා එයාව බැට්ල්වර්ල්ඩ්වල වෙනම්ව හිර කරනවා එයාලගේ වරයාව වෙනම්ව තව දුරටත් අපවිත්‍ර කරයි කියලා තියෙන බයට. බැට්ල්වර්ල්ඩ් ගැන වැඩිය හිතන්නේ එපා. ඒක කියන්න ගියොත් මේ කතාව වෙනින් දිහාවකට යනවා. දැනට මෙහෙම විතරක් හිතන්න. බැට්ල්වර්ල්ඩ් කියන්නේ බියෝන්ඩර්ස් කියන පිටසක්වල ජීවින්ගෙ බලය ඩොක්ටර් ඩූූූම් හොරකම් කරලා ලෝකයන් කිහිපයක් එකට එක්කාසු කරලා ගොඩනගපු ලෝකේ තමයි බැට්ල්වර්ල්ඩ් කියන්නේ.
වෙනම්-ස්පයිඩි මුහුණට මුහුණ මුණගැහෙන්නේ කොහොමද?
“Secret Wars” කොමික් මුද්‍රණයෙදී ලෝකේ ඉන්න සුපිරි වීරයින් දුෂටයින් වගයක් සටන් කරන්න ගිය වෙලාවක, සීක්‍රට් වෝ එකට ගිහින් තමන්ගේ සූට් එක හොදටම සැහෙන හානි වෙලා ගිය ස්පයිඩි ලැබ් එක ඇතුලට ඇවිත් වැරදීමකින් මැෂින් එකක් ක්‍රියාත්මක කරලා වෙනම්ව හිර කරලා තිබුණු කුටියෙන් නිදහස් වෙලා, ක්ෂණිකවම එයා ඇවිත් ස්පයිඩිව ආවරණය කරගෙන එයා ස්පයිඩි එක්ක සම්බන්ධ වෙන්න ගන්නවා. ඊටපස්සේ තමයි ස්පයිඩිගෙ සූට් එක තනිකරම කළු පාටට හුරු වෙන්නේ සුදු පාට මකුළුවාගේ සංකේතය ඉතිරි කරමින්. නැවතත් වීරයින් එක්ක පෘතුවියට එන ස්පයිඩිට තේරුම් යන්න පටන් ගන්නවා එයාට පුදුමාකාර ශක්තියක් වගේම බලයක් ලැබිලා තියෙන්නේ කියලා. විශේෂයෙන්ම තමන්ගේ සුපුරුදු සූට් එකේදී ලැබුණු සීමිත මකුළු දැල් විදින හැකියාව අසීමීත වෙලා තියෙන බව දැනගත්තට පස්සෙ. මේ විතරක් නෙවෙයි තමන්ට ඕන වෙලාවට සූට් එක ගලවන්න අදින්න ඕන කමක් තිබුනෙත් නැහැ. තමන් සූට් එක ගැන හිතන ක්ෂණික එයාට සූට් එක ඇන්දෙනවා. හරියට නිකන් ශේප්-ෂිෆ්ටින් වගේ.
ස්පයිඩිට ඕන වීරයෙක් විදිහට කටයුතු කරන්න නිසා වෙනම් මේ දේවල් දැනගෙන ස්පයිඩිගෙ අරමුණු ඉෂ්ට කරන්න කියලා හිතාගෙන ස්පයිඩි නිදාගෙන ඉන්න වෙලාවටත් එලියට ගිහින් අපරාධකාරයින් එක්ක සටන් කරන්න අරන් ඕනෑවටත් වඩා පීටර්ව පීඩාවට පත් කරලා ලෙඩ කරවනවා. මේ විදිහට නිතරම වගේ මහන්සියක් දැනෙන පීටර් තේරුම් ගන්නවා මෙච්චර දෙයක් වෙන්න හේතුව මේ සූට් එක කියලයි. පස්සෙ බ්ලැක් කැට්ගෙ උපදෙස් අනුව එයා සූට් එක ෆැැන්ටෑස්ටික් ෆෝ එකේ ලැබ් එකට අරන් ගියාම, මිස්ටර් ෆැැන්ටෑස්ටික් වගේම හියුමන් ටෝච් දෙන්නාගේ විශ්ලේෂණයෙන් මේ ඉන්නේ සිම්බියෝට් කෙනෙක් කියලා දැනගත්ත ක්ෂණික පීටර් සූට් එක ප්‍රතික්ෂේප කරනවා. මේ එක්කම තමයි පීටර් දැනගන්නේ වෙනම්ට ගින්දරින් වගේම සබද තරංග වලින් හානියක් කරන්න පුලුවන් කියලා. මේ නිසාම “Our Lady of Saints Church” දේවස්ථානයේ සීනුවෙ දෝංකාර දෙද්දී ඒකෙන් ඇතිවෙන බලපෑම නිසාම වෙනම් පීටර්ගෙන් අයින් වෙලා යනවා. පීටර් විශ්වාස කරන්නේ වෙනම් සිම්බියෝට් විනාශ වෙලා ගියා කියලා.
ඒත් එහෙම දෙයක් වුනේ නැහැ. මේ නිසාම වෙනම්ට පීටර් ගැන ලොකු තරහවක් ඇති වෙන්නේ. මාස ගානක් පුරාවටම තමන්ට ඇති වුනු තුවාල සුව වෙනකන් වෙනම් කාලේ ගත කරලා අන්තිමට ආපහු වතාවක් ඩෙඩ්පූල්ව අල්ලගෙන, කලින් ධාරකයා වෙච්චි ස්පයිඩර් මෑන් ගැන ඩෙඩ්පූල්ගෙ හිතට ඇතුල් කරලා ලොකු තරහවක් ඇති කරනවා. වතාවක් කිලර් ත්‍රිල් ස්පයිඩිව අල්ලගත්ත වෙලාවක ඩෙඩ්පූල්ගෙ පාලනය අතට අරන් කිලර් ත්‍රිල් වගේම ස්පයිඩි ඉන්න තැනට ගිහින් කිලර් ත්‍රිල්ගෙ වම් අත කාලා ස්පයිඩිවත් කන්න හදන වෙලාවේ ඩෙඩ්පූල් ක්ෂණිකවම “Our Lady of Saints Church” දේවස්ථානයට ගිහින් සීනුවෙ වද්දගෙන ශබ්ද තරංග හරහා වෙනම්ව අයින් කරනවා.
එඩි බ්‍රෝක්
දේවස්ථානයෙදී පහලට කෑලි කෑලි වලට වෙන් වෙලා පහලට වැටෙන වෙනම් ඊලගට එකතු වෙන්නේ එඩි බ්‍රෝක් නම් ඩේලි ග්ලෝබ්වල පුවත්පත් වාර්තාකරුවෙක් විදිහට කටයුතු කරන කාලෙදි තමන්ගේ අතින් වැරැද්දක් වෙලා තමන්ගේ රස්සාව නැති වුනු වගේම, පීටර් පාකර් එක්ක ලොකු කේන්තියකින් හිටිය කෙනා එක්කයි. තමන් ලියපු බොරු ලිපියක් නිසාම රස්සාව ගහලා යන්නේ. මේ නිසාම තමන්ගේ බිරිදත් එයාව දාලා යනවා. දෙන්නට තියෙන පොදු අරමුණ වෙච්චි ස්පයිඩර් මෑන් එක්ක තියෙන තරහව නිසාම එඩිගෙයි, වෙනම්ගෙ සම්බන්ධය හුගක් දුරට ශක්තිමත් සම්බන්ධයක් වෙනවා. සුපුරුදු පරිදි මුල් කාලේ සහයෝගීව කටයුතු කරලා, එඩිට තිබුණු පිළිකාවත් සුව කරලා නිතරම වගේ ස්පයිඩර් මෑන් එක්ක මුහුණට මුහුණ ගැටෙන්න ගිහින් තියෙනවා.
වතාවක් ස්පයිඩි, ස්ටික්ස්, වගේම ස්ටෝන් එක්ක සටනකට ගිහින් වෙනම්ව ස්ටික්ස්ගෙ වරක් ඇල්ලුවත් මිය යන ස්පර්ශයෙන් මැරෙනවා. එඩි බ්‍රෝක්ට හිරේ යන්න වෙනවා. කාලයක් ගිහින් වෙනම්ට සුව වෙලා ආපහු වතාවක් ඇවිත් එඩි බ්‍රෝක්ව හිරෙන් නිදහස් කරන් යනවා. එහෙම යද්දී එක දෙයක් ඉතිරි කරනවා. වෙනම් තමන්ගේ වර්ගයේ අලුත්ම කෙනෙක්, ඒ කිව්වේ අලුත් ක්ලින්ටාර් කෙනෙක්ව බිහි කරලා යනවා. ඒ තමයි කානේජ්. සිම්බියෝට් කියන්නේ තනිවම තමන්ගේ වර්ගයා බිහි කරගන්න හැකියාව තියෙන ජීවින් කොට්ටාශයක්. ඒ කියන්නේ තමන්ගේ වර්ගයා බෝ කරන්න තවත් කෙනෙක් ඕන නැහැ. කොහොමහරි මේ කානේජ් කියන්නේ නොනැසී ඉන්න ධාරකයෙක් ඕන නැති කෙනෙක්. කානේජ් ගැන ඉදිරි ලිපියකදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එඩි එක්කම හිරේ හිටිය කේටස් කැසීඩිච තමයි කානේජ් ධාරකයා කරගන්නේ.
මීට අමතරව එඩිගෙ බල කිරීම මත වෙනම් එඩිගෙ කලින් හිටිය බිරිද වෙච්චි ඈන් වෙයින්ග් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා හේතුන් කිහිපයක් නිසා. කිහිප වතාවක්ම සුව කරන්න වගේම තවත් වතාවකදී පොලිසියෙන් පැනලා යන්න. ඈන්ට වෙනම් සම්බන්ධ වුනාම එයාව හදුන්වන්නේ “ශී-වෙනම්” කියලා.
ඊටපස්සේ වතාවක ලයිෆ් ෆවුන්ඩේෂන් එකෙන් වෙනම්ව එඩිගෙන් වෙන් කරලා වෙනම්ව අල්ලගෙන ගිහින් එයාට බල කරනවා තමන්ගේ වර්ගයා බෝ කරන්න කියලා. ඒ බල කිරීම මත තමයි රයට්, ලෑෂර්, ෆේජ්, ඇගනී වගේම ස්ක්‍රිම් කියන වෙනම්ගෙ දරුවෝ කිහිපදෙනා බිහිවෙන්නේ. පස්සෙ ආපහු වතාවක් වෙනම්ට හැකියාව ලැබිලා තියෙනවා එඩි එක්ක එකතුවෙන්න. කාලයක් යද්දී අනික් අය වගේම වෙනම් එඩිගෙ අණට කීකරු නොවී පාලනය අතට ගන්න හදද්දී එඩි වෙනම්ව ප්‍රතික්ෂේප කරලා අත්හරිනවා.
ඉන්පසු ධාරකයන් බවට පත්වූවන්
එඩිගෙන් පස්සෙ වෙනම් එකතු වෙන්නේ ස්පයිඩිගෙ තවත් ප්‍රධාන හතුරන්ගෙන් කෙනෙක් වන ස්කෝපියන් එක්කයි. මං හිතන්නේ ඔයාලට මතක ඇති Spider Man Homecoming (2017) චිත්‍රපටයේ පසු දර්ශන වලින් ස්කෝපියන් ගැන MCU එක ප්‍රේක්ෂකයන්ට ඉගියක් ලබා දුන්නා. කොහොමහරි ස්කෝපියන් එක්කත් වෙනම් එකතු වෙලා සාර්ථකචා වැඩ කරන් යන්න හැකියාව මේ අයට ලැබෙනවා දෙන්නා අතරේම ස්පයිඩි ගැන තිබුණු තරහව නිසා. මේ දෙන්න එකතු වුනාම හදුවන්නේ “ස්කෝපියන් වෙනම්” කියලයි. කාලයක් ගිහින් ස්කෝපියන් වෙනම්ගෙන් අයින් වෙනවා.
ස්කෝපියන්ගෙන් ගැලවෙන වෙනම්ව ඊලගට එක්සත් ජනපදයේ රජය විසින් අල්ලගෙන වෙනම්ව සෑහෙන පරීක්ෂණ වලට යොමු කරලා එයාලට හැකියාව ලැබෙනවා මෙතෙක් කල අත්හදාබැලීම් හරහා වේනම්ගෙ යම්තාක් දුරකට පාලනය අරගන්න. ඒ කියන්නේ මෙතෙක් කල් හිටියට වඩා වෙනස් කරලා. මේ අයගේ අරමුණ වුනේ සුපිරි සොල්දාදුවෙක් නිර්මාණය කරන එකයි. මේ වතාවේ මේ සුපිරි සොල්දාදුවා විදිහට පත් වෙන්නේ පීටර් පාකර් එක්ක එකට උසස් පාසල් ගිය ෆ්ලෑෂ් තොම්සන්වයි. මෙයා කාලයක් හමුදාවට සේවය කරලා තියෙනවා. එහෙම සේවය කරපු කාලෙදි ඉරාක යුද්ධෙදි ෆ්ලෑෂ්ට එයාගෙ කකුල් දෙක අහිමි වෙලා ගිහින් තියෙන කාලෙක තමයි ෆ්ලෑෂ් වෙනම් එක්ක එකතු වෙනවා රජයේ හමුදා නියෝජිතයෙක් වශයෙන් කටයුතු කරන්න ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වෙන්නේ. එයාට තමයි “ඒජන්ට් වෙනම්” කියලා හදුන්වන්නේ.
පස්සේ කාලෙක කැප්ටන් අමරිකාගේ ඉල්ලීම මත ෆ්ලෑෂ් වතාවක් මන්දාකිණි ආරක්ෂකයන් එක්ක එකතු වෙලා සටන් කරලා තියෙනවා. එහෙදි එයාගේ සූට් එක තවත් බලසම්පන්න එකක් වෙලා තියෙනවා. අභ්‍යවකාශයේ ඉද්දි ක්ලින්ටාර් අයට දැනිලා තියෙනවා වෙනම් ඇවිත් තියෙනවා කියලා. මේ නිසාම ඒ අය මෙයා එක්ක සම්බන්ධ වෙන්න හදද්දී එයාට එයාගේ පාලනය නැතුව ගිහින් ලොකු වියරුවක් පිට කරන්න පටන් අරන් තියෙනවා. මේ නිසාම ආපහු වතාවක් පෘතුවියට යන්න හදද්දී පීටර් කුයිල්ගෙයි, රොකට්ගෙයි පහර දීම් වලට අහුවෙලා වෙනම් ෆ්ලෑෂ්ගෙන් වෙන් වෙලා ඒ ආසන්නයේම හිටිය ගෘට් වෙනම් අල්ලාගෙන තියෙනවා. ඊටපස්සේ පිළිවෙලින් ඒ යානයේ හිටිය අය වෙච්චි රොකට්ටත්, ඩ්‍රැක්ස්ටත් ග්‍රහණය කරගෙන ආපහු වතාවක් එයා ෆ්ලෑෂ් එක්කම සම්බන්ධ වෙලා තියෙනවා.
සෑහෙන සිදුවීම් කිහිපයකට පසු වෙනම්ට කාලයක් එනවා ෆ්ලෑෂ්ගෙනුත් වෙන් වෙන්න සිද්දවෙන. කොටින්ම එයාම තීරණය කරනවා ආයේ වතාවක් ෆ්ලෑෂ් ලගට නොයා ඉන්න. වෙනම්ගේ මීලග ධාරකයා වෙන්නේ ලී ප්‍රයිස් නම් හමුදා රෙජිමේන්තුවේ සේවය කරපු සෙබලෙක්වයි. එයාව ටොම්බ්ස්ටෝන්ගේ වගේම බ්ලැක් කැට්ගේ කට්ට්ය මරලා දාන්න හදන වෙලාවක වෙනම් එතනට ගිහින් ලී ප්‍රයිස් එක්ක සම්බන්ධ වෙලා එයාව බේරාගන්නවා. මේ කාලේ වෙද්දී FBI නියෝජිතයින් කිහිප දෙනෙක් වෙනම්ගේ අලුත්ම ධාරකයා කවුද කියලා හොයන් අතරේ මේ අයගේ සහයට ස්පයිඩර් මෑන් ඇවිල්ලා වෙනම්වයි, ලී ප්‍රයිස්වයි වෙන් කරන්න උදව් කරලා තියෙනවා. නිව් යෝ(ර්)ක් පොලිසියෙන් ලී ප්‍රයිස්ව අත්අඩංගුවට අරගන්න අතරේ වෙනම්ව FBI එකෙන් අරන් ගිහින් තියෙනවා.
සූට් එක “ඇල්ෆා ෆයිට්” නම් අභ්‍යවකාශ වැඩසටහනට යවන්න තීරණය කරලා තියෙනවා. ඇල්ෆා ෆයිට් කියන්නේ කැප්ටන් මාවල්ගේ නායකත්වයෙන් තවත් එය එක්කාසු කරගෙන පෘතුවියට ටිකක් නුදුරින් අභ්‍යවකාශයේ ස්ථානගත කරලා තියෙන මැදිරියක්. මේ ස්ටේෂන් එක පිහිටුවලා තියෙන්නේ විශ්වයෙන් බාහිරව එල්ලවෙන තර්ජන වලක්වන්නයි. කොහොමහරි සූට් එක මේ ස්ටේෂන් එකට යවන්න කලින් මේක තැන්පත් කරලා තිබ්බ තැනට එඩි හොරෙන් කඩාගෙන පැනලා වෙනම්ව ආයේ වතාවක් ලබාගෙන තියෙනවා. කලින් වතාවේ වෙච්ච දේවල් ආයේ නොවෙන්න වග බලාගන්න කොහොමහරි එඩි වෙනම්ව කැමති කරගෙන මේ දෙන්නා ආපහු වතාවක් අපරාධකාරයෝ අල්ලලා තියෙනවා.
ඔය වගේ ධාරකයෝ තවත් කිහිප දෙනෙක්ම ඉන්නවා. ඒ අය ගැන ඒ හැටි සදහනක් වෙන්නේ නම් නැහැ. ඒත් ඉස්සරහට වෙලාවක් ලැබුනම මේ අය ගැනත් පුලුවන් විදිහට ලිපි අරගෙන එන්න බලන්නම්. මේ සිම්බියෝට්ලට ප්‍රධාන වශයෙන් හැකියාවන් වගේම, දුර්වලතා තියෙනවා.ඒ මොනාද කියලත් අවසාන වශයෙන් බලමු.
ශක්තින්
  1. සුපිරි මිනිස් ශක්තිය – වෙනම් ධාරකයා කරගන්න කෙනාගේ දැනට පවතින ශක්තියට වඩා වැඩි ශක්තියක් ඒ කෙනාට ලැබෙනවා. විශේෂයෙන්ම වෙනම්ගෙ කලින් ධාරකයාගෙ ශක්තියත් අලුත් ධාරකයා වෙන කෙනාට වෙනම් ලනාදෙනවා. ඒ කියන්නේ ස්පයිඩිට වඩා එඩි බ්‍රෝක් ශක්තිමත් වුනේ වෙනම් එයාට ස්පයිඩිගෙ ශක්තියත් ලබා දුන්නු නිසයි.
  2. සුපිරි මිනිස් දරා ගැනීමේ ශක්තිය – වෙඩි හුවමාරුවකදී වුනත් තම ධාරකයාට කිසිම හානියක් නොවන පරිදි දරාගන්න පුලුවන් හැකියාව වෙනම්ට තියෙනවා.
  3. සුපිරි මිනිස් සවිබලය – ජලය යට, විෂ වායු පවතින තැන්වල වගේ හුදෙක්ම අහිතකර තැන්වලදී කිසිම හානියක් නොවී ඉන්න හැකියාව වෙනම් සතුව පවතිනවා.මොකද ඇතුලේ ඉන්න ධාරකයට එයා හුස්ම ගන්න වගේම පිට කරන්න වෙනම විදිහේ ෆිල්ටර් කිරීමේ ක්‍රමයක් සපයනවා.
  4. සුව වීමේ හැකියාව – මේක තමයි හොදම කාරණේ. මොකද මාරක විදිහට ධරාකයාට බලපෑමක් වෙලා තියෙන තත්වයකදී පවා වෙනම්ට හැකියාව තියෙනවා වෙනම කිසිම සුව කිරීමේ ක්‍රමයකට වඩා ඒ කෙනාව සුව කරන්න.
  5. මතක ශක්තිය – සිම්බියෝට් කෙනෙක්ට හැකියාව තියෙනවා තමන් ධාරකයා සමග සම්බන්ධ වුනාම ඒ කෙනාගේ මනස හා සම්බන්ධ වෙලා මතකයන් හාරවුස්සලා බලන්න. ඒ මතකයන් මතක තියාගන්නත්, ඕනෙම වෙලාවක ඒ ගැන සිහිපත් කරන්නත් සිම්බියෝට් කෙනෙක්ට හැකියාව තියෙනවා.
  6. තම ධාරකයාව මනසින් ග්‍රහණය කර ගැනීමේ හැකියාව.
  7. ස්පයිඩර් මෑන්ට වගේම බිත්ති දිගේ කිසිම ගැටලුවක් නැතුව බඩ ගාන්න හැකියාව සිම්බියෝට් කෙනෙක්ට තියෙනවා.
  8. නිමාවක් නැතිව මකුළු දැල් විදීමේ හැකියාව – මේ හැකියාව නම් වෙනම් එහෙම හොරකම් කරන්නේ ස්පයිඩිගෙන්. උඩ හරියේ මතක ඇතිනේ තමන්ගෙ සීමීතව මකුළු දැල් විදීමේ ශක්තිය වෙනම් ස්පයිඩිට අසීමිතව ලබා දුන්නා.
  9. ස්වරුපය වෙනස් කිරීමේ හැකියාව – වෙනම්ට හැකියාව තියෙනවා තමන්ගේ ධරාකයා සිතන පතන විදිහට ස්වරුපය වෙනස් කරන්න.
  10. විසකුරු උල් දත් දෙක – වෙනම් කියන නමේම මේක සදහන් වෙනවා. එයාගෙ ඒ විෂ දත් වලින් හපා කෑමකින් ඕන නම් පුලුවන් කෙනෙකු අඩපන වෙන තත්වයටම පත් කරන්න.
දුර්වලතා
  1. ශබ්ද තරඟ හරහා වගේම ගින්දර මගින් හැකියාව තියෙනවා සිම්බියෝට් කෙනෙක්ව අනතුරට ලක් කරන්න.
  2. ඕනෙම කෙනෙක්ව නිර්මාණය කරපු කෙනෙක් ඉන්නවනේ. ඉතින් මේ සිම්බියෝට්ලගෙත් නිර්මාතෘ කෙනෙක් ඉන්නවා. එයාගෙ නම තමයි ක්’නල්. සිම්බියෝට්ලව තමන්ට ඕන ඕන විදිහට පාලනය කරන්න මේ කෙනාට හැකියාව තියෙනවා.
Powered by Blogger.